Thursday, June 4, 2020

නමක් නැති කඳු

නමක් නැති කඳු දෙහිස  හුඟක් ඈතින්                    පෙනෙන
දුරක් එකිනෙක අතර තබාගෙන මල්                         දරණ
බරක් හිස දරා මුත් දනක් නොනමා                         නැගෙන
නමුත් ඉඳහිටක පිණි කඳුළු නිම්නෙක                       රඳන


වතාවක් දෙකක් අවවාදයක් දී                                  සුළඟ
සිනාවක් කතාවක් නැතිව රුදු වී                               ගියද
ඉටා ගත් දිනෙක එකලඟ තැබුණු කඳු                    දෙහිස
පමාවක් ලද සැනින් සිඹ සනසවති                           උනුන

03.06.2020




                 

Friday, March 27, 2015

මට මහන්සියි දැන්

කඳුළු පේලි අපිළිවෙලට ඇමිණු
තැනින් තැන තාම සුසුමින් තෙත්
සෑම දුක්බර කවියටම
සිනා මල් පලඳමි
'තව ටිකක් ඉවසන්න නාඬා'
හෙමින් රහසින් පවසමි


දුක්බරව මියයන හදවතේ
තැනින් තැන
රෝස පෙති අලවමි
'හැමදේම හරියයි හෙමිහිට'
කණ්නාඩියේ අඬන ළමයා රවටමි

තාලය නොදත් ගීයක මැදක
 වැරදී ලියූ  ස්වරයක
ජීවත් වීම පහසු නැත
සිනාසී පහසු බව හැඟවීම පහසු නැත


කඳුළු රහසින් මල්පෙති මතින් තැවරීම
පිණි බින්දු යයි ඔබට බොරු කීම

ආදරය
අඳ  ගොළු බිහිරි බැව්
දිගින් දිගටම  ඇඟවීම ..

Sunday, April 27, 2014

ගසක් කවියෙක් අස

මම ගසක් ඔබ අස 
වදනකුදු නොබිඳින 
ඔබෙ සිනා දැකුමට 
ඇස යොමා හිඳ සැනසෙන 

මම ගසක් ඔබ අස 
පවනින් මවන ගී සර 
ඔබව පෙළනා ඉර 

මඩින ලෙස අතු පතර විහිදන 

මම ගසක් ඔබ අස
ඔබෙ විඩාපත් දෙනයන
මදක් සනසන රිසියෙන
හැකි පමණකින් කුසුම් පූදන

මම ගසක් ඔබ අස
ඔබෙන් පමණක් සැනහෙන
ඔබ මා නොහඳුනන
වග කැමැත්තෙන් කරන අමතක 


මම ගසක් ඔබ අස 
ඔබේ කවි සිත පසසන 
ඇයට ලියනා කවි පද 
ළසෝ ගින්නෙන් ඉවසන 

මම ගසක් කවියෙක් අස 
සෙමෙන් නිහඬව මියයන... 
CN