Wednesday, April 10, 2013

මේ රේඩියෝ දිනපොත

ආයුබෝවන් , මේ රේඩියෝ දිනපොත , කපා  කොටා  සංස්කරණය නොකළ පැය බාගෙක හදගැස්ම .

කැලැන්ඩරේ  සීග්‍ර මැරතන් එකකත් ජීවිතේ ඉබි ගමනකත් තිබුණ එකෝමත් එක කාලෙක  මම එකෝමත් එක කැම්පස් එකක් මැද්දෙන් ඇවිදිමින් හිටිය. ඒ  වෙලාවේ එකෝමත් එක අක්ක කෙනෙක් මට ඇත වැනුවා . 

ඒ රේඩියෝ අක්කා . මාර්කොනිගේ කවුරුත් නෙමෙයි ,අපේ විශ්වවිද්‍යාලෙ රේඩියෝ එකේ වැඩ කරන අක්කා .

අක්කා  ලඟට කතාකරල කියපු කතන්දරේ කණ ඇතුලට රිංගල නිදාගෙන හිටපු සෛල බර ගානක් ටක් ගාල කූද්දලා , පුප්පුශිය ධමනි ශිරා පොඩ්ඩක් කිතිකවලා, පිට මැද්දෙන් පලා ගෙන අත්තටු දෙකක් වෙලා මතු උණා. අක්කගේ ඉල්ලීමත් එක්ක මම හිටියේ පොලව මට්ටමට අඩි  හතරක් විතර ඉහලින් පාවී පාවී . කකුල් දෙක යන්තමට බිම ගෑවෙන්න තිබුනත්, කැම්පස්  එකට තියන එකම යකඩ කටිං කියන්න පුළුවන් විදියේ "මොකක් හරි එකක් " ලියන්  එන්න කිව්වම හටගත්තු චිත්තප්‍රීතිය, ඒකෙන් අවුන්සයක් වත් අඩු වුනේ නෑ .

කාලෙක ඉඳන් මටත් ඕනේ උනේ ඕක මයි . හිතේ තදකරන් ඉන්න ටික කාට හරි කට ඇරලා කියල දාන්න .

ශක්‍රයා ගුත්තිල පඬිතුමාට ගුලි හතරක් දුන්නා  වගේ  අක්ක මට පැය බාගේ ඒවා දෙකක් දුන්නා. සරල බසින් කීවොත් වැඩසටහන් දෙකක් .

එකක් ප්‍රඥාව ගැන .
අනෙක ..අනෙක , "වෙන මොකක් හරි එකක්" ගැන . ඒ "වෙන මොකක්  හරි එක" මොන වගේ එකක් වෙන්න ඕනෙද කියන එක ගැන කිසිම දල අවබෝධයක් අපි දෙන්නගෙන් කාටවත් තිබුණේ  නෑ . හැඩයක් නැති පාටක් නැති, රසක් නැති , නිකං  මනෝමය ඇමීබවෙක් වගේ එකෙක්,  අපි දෙන්න අතර අවකාශයේ නිර්මාණය වෙමින් තිබුන හැටි දිහා , අපි දෙන්නම  බලං හිටියා.

එහෙම ඉඳල ටික වෙලාවකින් අක්කා නිසි බලධාරිය  තනතුරේ  ආධිපත්‍ය අතට අරං එකෙන් ඇනලා  කපල  කොටලා නමක් නැති ප්‍රපංචය ට  අමුතු හැඩයක් දීල ගත්තා . 

තව දුරටත් එතන තිබුනේ හිස් අවකාශයක් නෙමෙයි .
එතන තිබුනේ දිනපොතක් !

අකුරක්වත් නොලියපු හිස් පිටු ගොඩක් තියන දිනපොතක් .   
"තියාගන්න , හෙට එනකොට ලියන්  එන්න" කියලා අක්ක හැරිලා යන්න ගියා .

"නයි කයි ද  රෝස්පාන් කිව්වලු , උපන් තේකට මන් දිනපොතක් ලියල නෑ "
"හොඳයි , නිකමට හිතමු අපි ඕක ලියුව කියලා , මොන රටේද දිනපොත යකඩ'කටින් කියවන්නේ ? " මගේ පුද්ගලික ජීවිතේ මට රිදෙන්න කනට එකක් ගැහුවා , " පිස්සුද? දිනපොත්  වල ලියන ඒවා සද්දෙට කියවල රට්ටු හිනස්සන්නේ? නිකන් ඉඳපන් බං... "

මං මොනවද මේකේ ලියන්නේ කියල රිදුන කනත් අතගගා ඉස්සරහට යද්දී, ඔපෙන් එක හරියේ මම පය පැකිලිලා වැටෙන්න ගියා , මං  බිම බැලුවා .
"පිස්සු හැදෙයි ,මැස්සෝ මැරෙයි!!" ; ඕපෙන් එක පුරාම හැම අස්සේ මුල්ලේම, පය  තියන්න ඉඩ නැති තරමටම විසිරිලා තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි.... ,
අකුරු !
පාට පාටට , එක එක හැඩේට , එක එක ප්‍රමාණෙන් ..... ඒකට  ආ ගිය උස මිටි , කළු සුදු, කෙට්ටු මහත, එක එක ෆැකල්ටි වල , සහෝදරයන්ගේ , මචං ලගේ , අක්කල නංගිලාගේ , ස්වීට් හාට් ලගේ , කියූ  නොකියූ අනෙක විධ කතන්දර වලින් වැටුණු අකුරු!
" ඇස්  ඇරගෙන ඇවිද්පන්කෝ ", අකුරු පොකුරක් මට කෝචෝක් හිනාවක් දාල කිව්වා .

මෙච්චර අකුරු වැටුණ පොළවක ඇවිදින ගමන් ද මම ලියන්න දෙයක් නෑ කියල දුක් වෙන්නේ ?
මේ වනතෙක් නාපු මගේ ඥාන දත් විදුරුමහ පලාගෙන එලියට ආවා . ඔලුව ඇතුලෙන් විස්සේ CFL බල්බ් පහක් විතර එක පාර පත්තු උණා .
අක්ක  දීපු දිනපොත ඇතුලට දාගන්න මම බිම වැටුන අකුරු  දඩබඩේට ඇහින්දගත්ත.

ඕපෙන් එකේ කොන්ක්‍රීට් පොලවේ විතරක් නෙමෙයි , මැ නේග්මෙන්ට් එක ඉස්සරහ පාරේ , තෙල් බැමි අයිනේ , පූල් එක පැත්තේ, ටෝර්ච් එක යට..... ආ ...ඒ  විතරක්යැ ගේට් එකෙන් එලියේ ත්‍රීවීල් අයියලාගේ පොට් එකේ 
මෝඩ මල්ලිගේ බත් කුඩේ යට, කාෂ්ටක අව්ව යට ඉඳන් හිනාවෙන මහපාරේ , මේ හැම තැනම අකුරු .කුරු කුරු ගගා, අකුරු හැම අස්සේ මුල්ලේම තෙරපෙනවා .

පුළුවන් පුළුවන් තරමින් මම අකුරු ඇහිඳගෙන සාක්කු වලට මල්ලට   දාගත්ත .
( දිග හුස්මක් ..)
මම දිනපොත ලියනවා .
කාගෙවත් ඇහැ නොගැටුණ අකුරු වල කතාව හෙට ඉඳන් යකඩ කටෙන් කියනවා .
ඒ කතා අහන්න හෙටත් එන්න .
අදට අවසානයි , ආයුබෝවන් !
07/12/2012.
0 

Add a comment

No comments:

Post a Comment